Thursday 6 March 2014

වාස්තුවිද්‍යාවට අනුව ළිදක් කපමු

ළිදක් කැපිමේදි වැදගත් වන කරුනු

දිය පිරුණු ළිඳක්‌ කැපීමට

ආර්. එච්. එම්. එම්. බණ්‌ඩාර කොළඹ 10
කූප ශාස්‌ත්‍රය නොහොත් ළිං කැපීමේ වාස්‌තු විද්‍යාණුකූල පිළිවෙත කුමක්‌දැයි යන්න මෙම ලිපියෙන් ඔබ සියලුදෙනාහට නිවැරදිවූ අවබෝධයක්‌ ලබාදීම මාගේ අදහසයි. මිහිමත උපත ලද මනුෂ්‍යයන්ට මෙන්ම ගහකොළ හා සතා සිව්පාවෝද ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්‌ වන ජල සම්පත සොයා ගැනීමේදී පිළිපැදිය යුතු මෙන්ම සැළකිල්ලට ගතයුතු කරුණු රාශියක්‌ ඇත. මෙම විශ්වයේ පවතින සම්පත් අතරින් උතුම්ම සම්පත හැටියට ගැනෙන ජල සම්පත සොයා යැමේදී එය අපගේ බීමට නෑමට යෝග්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ජලය ඇති දොසින් තොරවූ ළිඳක්‌ කැපීම කළ යුතුය. මෙසේ ජල සම්පත සොයා ගැනීම සඳහා කපනු ලබන ළිඳ අපගේ නිවසට සුභදායක ලෙස නොහොත් වාස්‌තු විද්‍යානුකූලව කිරීමෙන් යහපත් ජලය ලැබෙන බවත්, ළිඳ නුසුදුසු තැන්හි පිහිටුවීමෙන් අයහපත් ඵල ලැබෙනා බවත් පෙන්වාදී ඇත. ඒ අනුව ජල පරීක්‍ෂාව භූමි ලක්‍ෂණයට අනුවම කළ යුතුය. පෙර රජ දරුවන් විසින් අති විශාල වූ වැව් අමුණු හා විශාල දිය පොකුණු තනවා ඒවා මෙතෙක්‌ කළක්‌ නොනැසී පැවතීමට හේතුවනුයේද, එකී වැව් හා පොකුණු වාස්‌තු විද්‍යානුකූලවම සිදුකර ඇති නිසා බව මනාව පැහැදිළිවේ. ඒ අනුව ඔබ විසින් මිලදී ගත් ඉඩමේ හෝ භූමියේ පිරිසිදු ජලය ඇත්දැයි ඒ පිළිබඳව දැනුම ඇති අයෙකුගෙන් විමසා දැනගත යුතුය. ඔබ විසින් ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවසට හෝ දැනට තනා ඇති නිවසට දෝෂ තත්ත්වයක්‌ ඇති නොවන අයුරින් ළිඳක්‌ කැපීම කළ යුතුය. කූප ශාස්‌ත්‍රයේ පෙන්වාදී ඇති දිශා ස්‌ථාන කාල වකවානු දිනයන්හිදී ළිං කැනීම සිදුකිරීමෙන් පිරිසිදු මිහිර ජලය මෙන්ම ජල සම්පතේ අනූන ළිඳක්‌ ඔබට තනා ගැනීමට හැකිවනු ඇත.

ඔබගේ ඉඩම නැතිනම් නිවස ඉදිකිරීමට අදහස්‌ කරන භූමිය පරීක්‍ෂා කිරිමේදී එහි සිදුරු නොමැති කොළ සහිත ගස්‌වල් විශේෂයෙන් කිරි සහිත ගස්‌වැල්ද තණකොළද සරුවට වැඩී ඇත්නම් එම භූමියේ ජලය තිබේ. තවද යම් ස්‌ථානයක ජම්බු, කුඹුක්‌, හබරල, බක්‌මී, නික, කරඳ, දොඹ සුවඳ කොට්‌ටන්, හොර ගොඩමානෙල් ඉද්ද යනාදී ගස්‌ ඇත්නම් එහිද ජලය ඇති බවට සාධකයකි. මෙම කරුණු වලට අමතරව ඔබ තෝරාගත් භූමියේ තුඹසක්‌ වේ නම් ඒ ආසන්නයේද ජලය ඇති බවට සාධකයකි. මෙම ජල සම්පත ඉඩමේ කොතැන තිබුනද එය අපි ලබාගැනීම සඳහා කපනු ලබන ළිඳ පිහිටිය යුතු දිශාව පිළිබඳව වාස්‌තු විද්‍යානුකූලව තෝරාගත යුතුය. එයට හේතුව ඔබ ඉදිකර ඇති නිවසට හෝ ඉදිකිරීමට අදහස්‌ කරනු ලබන නිවසට දෝෂ ඇති නොවන පරිදි ළිඳ කැපීම කළ යුතුය. අසුභ දිශාගතව ළිඳ කැපීමෙන් ගෘහ යේ අධිපතියාට මෙන්ම ගෘහ වාසීන්ටද විපත් සිදුවිය. හැකි බව පුරාණ ඉසිවරු පෙන්වා දී ඇත. මේ අනුව අටදිශාව ළිඳක්‌ පිහිටුවීමෙන් ඇතිවන ඵල විපාක මොනවා දැයි බලමු. උතුරු දිශාගතව ළිඳ පිහිටුවීමෙන් සැපයද ඊසාන දිශාගතව ළිඳ ක්‌ පිහිටුවීමෙන් ශරීරයේ වැඩිම හා සැපයද, නැගෙනහිර දිශාවේ යස ඉසුරු සම්පත්ද, ගිණිකොණ දිශාවේ ළිඳ තිබීමෙන් පුත්‍ර විනාශයද, දකුණු දිශාවේ ළිඳ කැපීමෙන් ස්‌තීS්‍රන් ගේ විනාශයද නිරිත දිශාවේ ළිඳ කැපීමෙන් මරණයද, බස්‌නාහිර දිශාවේ වස්‌තු සම්පත් ලැබීමද වයඹ දිශාවේ ළිඳ කැපීමෙන් සතුරු කරදර ඇතිවන බවද පෙන්වාදී ඇත. තවද ඉරු දින ළිඳ කැපුටිට එහි ජලය නැතිවීමේදී, සඳු දින ළිඳ කැපූවිට පිරුණු ජලයද, කුජ දින ළිඳ කැපූවිට වැලිද, බුධ දින අධික ජලයද, ගුරු දින ළිඳ කැපූ කළ මිහිරි රසැති ජලයද, කිවි දින ළිඳ කැපූ කළ ලවන ජලයද, ශනිදා ළිඳ කැපූ කළ ජලය හමුනොවනා බවද ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයට අනුකූලව පෙන්වා දී ඇත. එමෙන්ම මෙකී ඉහත පෙන්වා දුන් කරුණු වලට අමතරව පදිංචි නිවසේ ගර්භණී කාන්තාවක්‌ හෝ මල්වර වීමට ආසන්න දැරිවියක්‌ සිටිනා විටද, ප්‍රදේශයේ අධික ඉඩෝර තත්ත්වයක්‌ පවතින කාලයන්හිදී මෙන්ම අධිකව වර්ෂාව පවතින කාලවලදී ළිං කැපීම සුදුසු නොවේ. තවද තනා ඇති නිවසේ හරි මැදට ලම්භකව ළිඳ කපා තිබීමද ධන හානියට හේතුවකි. ළිඳක්‌ කැපීමේදී නිවසේ සිට ළිඳ කපන ස්‌ථානයට ඇති දුර පිළිබඳවද සැළකිලිමත් වියයුතුය. මෙය නිවසේ අත්තිවාරමේ සිට ළිඳේ ඉවුර දක්‌වා ඇති දුර පිළිබඳවද සැළකිලිමත් විය යුතුය. මෙය නිවසේ අත්තිවාරමේ සිට ළිඳේ ඉවුර දක්‌වා ඇති දුර ප්‍රමාණය ගණන් ගැනීමයි. මෙය ගෘහ මූලිකයාගේ අතේ රියනෙන් එක, දෙක හෝ රියන් තුන මොනම හේතුවක්‌ නිසාවත් නොගත යුතුයි. ළිඳ ගෘහයට ආසන්නව ඉදිකිරීමෙන් නිවසේ පැවැත්මට මෙන්ම ළිඳේ පිරිසිදු තාවයටද අයහපත් බැවිනි. එය ඉතාමත් අසුන බව පෙන්වා දී ඇත. ගෘහයේ සිට ළිඳේ ඉවුරට රියන් හතරක්‌ වේ නම් භාර්යාවට ලෙඩදුක්‌ කරදර ඇති වන බවද, රියන් පහක්‌ වේනම් භාර්යාවට මාරක විපත් අත්වන බවද පැවසේ. ගෘහ මූලිකයාගේ අතේ රියන් හතක්‌ දුරින් ළිඳ පිහිටුවීමෙන් ධන සම්පත් ගෙනදීමට හේතු වාසනාවේ. අතේ රියන් අට, නවය, දහය එකොළොහක්‌ දුරින් ළිඳ කැණීම නොකළ යුතුයි. තවද රියන් දොළහ කිසිසේත්ම සුදුසු නොවන බවද පෙන්නා දෙමි. රියන් දහතුනක්‌ දුරින් ළිඳ පිහිටුවීම ඉතා සුභ බැව් පෙන්වාදී ඇත. රියන් පහළොව, රියන් විසිතුන, විසිහතර, විසිපහ, විසිහත, තිස්‌ එක, හතළිහ, පනස්‌හතද සුබයි. මෙහිදී රියන් විසි අට, තිස්‌ නවය, හතළිස්‌හය, හතළිස්‌ අට, හා පනස්‌අටක දුරින් ළිඳ පිහිටුවීම ඉතාමත් අසුබ බැව් පෙන්වාදී ඇත. තවද ගෘහමුලිකයාගේ අතේ රියන් හැටකට වඩා දුරකින් ළිඳ පිහිටවූ කළ කිසිදු දෝෂ තත්ත්වයක්‌ ඇති නොවන බව පෙන්වා දී ඇත. මේ බව ඉතාමත් පැහැදිලිව පැරණි විශාල භූමිවල ඉදිකර ඇති නිවාස හා ළිං වලින් තහවුරු වේ.

ළිං කැපීම සඳහා සුදුසු කාලයන් සොයා බැලීමේදී රවි උත්තරායනය වීමද, චන්ද්‍රයා ජල රාශියක වීමද ළිං කැපීමේ නැකතට යෝග්‍ය වේ. මෙම කටයුත්ත සඳහා පුෂ, අනුර, හත උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, දෙනට, සියාවස, රෙහෙණ, පුවසල, මා මුවසිරි යන නැකතක්‌ද, පුර පක්‍ෂයේ 1, 2, 3, 5, 7, 10, 11, 13 යන තිථිද ළිං කැපීම සඳහා ආරම්භයට සුදුසුය. ගෘහමූලිකයාගේ ජන්ම නැකතට සීහුම් වියයුතු අතරම, නැකත් මොහොතේ තක්‌කාළ ලග්නයට මීන/කටක/ මකර යන ලග්න ඉතාම සුබදායකයි. වෘෂභ කුම්භ ලග්න ගැනීමෙන් මධ්‍යම ප්‍රථිඵල අත්වේ. මෙම කටයුත්ත සඳහා දුරුතු මැදින් බක්‌ වෙසක්‌ නිකිණි උඳුවප් යන මාස සුදුසුය. ඉරමුදුන්වූ වේලාව ඉර බැසයන වේලාව මැදියම් රැයද සවස හතරෙන් පසු කාලයද ලිං කැපීමට සුදුසු නොවන අතරම, නිවසේ කොන් දෙකට, මුදුන් යටලීයට හා නෙත්තියට හරි කෙළින් ළිඳ කැපීමද අසුභ ඵල ඇතිවේ. නිවසේ සිටිනා ස්‌ත්‍රියක්‌ ඔෂප්ව ගතකරණ දිනවලද ළිං කැපීම ආරම්භයට නුසුදුසු කාලයකි. මෙම කටයුත්ත සඳු හෝරාවෙන් හා සිකුරු හෝරාවෙන් ආරම්භ කිරීම වඩාත් සුබදායකය. තවද තම උච්ච රාශිය හෝ ක්‍ෂෙත්‍ර රාශියව එහි සිටි ගුරු, බුද, සිකුරු පූර්ණ සඳු යන මොවුන් ගෙන් එක්‌ ග්‍රහයෙක්‌ කේන්ද්‍ර ත්‍රිකෝණ ස්‌ථානයක සිටියේද එවිට ජලය ස්‌ථිරය. එමෙන්ම සැපවත් බවද කූප ශාස්‌ත්‍රයට අනුකූලව පෙන්වාදී ඇත. මෙසේ ඉහත පෙන්වාදුන් කරුණු කාරණාවලට අනුගතව ඔබගේ ඉඩමේ ළිඳක්‌ තැනවීමෙන් නිරෝගී සුවය මෙන්ම සැප සම්පත වාසනාව හිමිවේ. කෙසේ නමුදු ඔබ නව නිවසක්‌ ඉදිකර ළිඳක්‌ කැපීමට අදහස්‌ කරන්නේ නම් එය හැකිතාක්‌ දුරට ඊසාන දිශාවේ හෝ නැගෙනහිර දිශාවට අනුගතව පිහිටුවිය හැකිවේ නම් යහපත් වනු ඇති බව මා පෙන්වා දෙමි.

මෙම ලිපිය දිවයින වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

0 comments:

Post a Comment

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්